කියන්නට අවසරයි!...(1 කොටස)

දුව හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් නෝනා කෙනෙක් වෙන්නම ඕන...

"අම්මා, මම හෙට ඉස්කෝලේ යනවා නේද?".සිඟිති කටහඬක් ගෙය තුළින් නික්මිනි.ඒ මිනෝලිය. තම මවගෙන් මෙසේ විමසන ඇය බලාපොරොත්තු රාශියක් පොදි බැඳ ගෙන තම පාසල් දිවිය ඇරඹීමට සූදානම්ව සිටියාය. "ඔව් දුවේ" මිනෝලිගේ මව එසේ පැවසුවේ උතුරා ගිය දරු සෙනෙහසින් යුතුවය. මිනෝලිගේ පියා නැතිවූ දා සිටම ඇගේ මව ධෛර්ය‍යෙන් යුතුව සමාජයට මුහුණ දෙමින් තම දියණියව කවදා හෝ සමාජ තැනකට ගෙන යාමේ දීර්ඝ ගමන හෙට පාසලේදී ආරම්භ වන බව මව දැන සිටියාය.
උදෑසන එළඹිනි."දුව, නැගිටින්න.අද තමයි ඔයා මුලින්ම ඉස්කෝලේ යන දවස"මව පැවසුවේ තද නින්දේ සිටි මිනෝලිව කූද්දමිනි. "ඉස්කෝලේ......." කියමින් තම නිදිබර දෑස් පිහිදමින් මිනෝලි ඇ‍ඳෙන් බිමට බැස්සේ සතුටින් ඉපිලී යමිනි.පාසලේ අලුත් නිල ඇඳුම ඇඳගැනීමටත්, අලුත් සුදෝසුදු සපත්තු දැමීමටත් මෙතෙක් කලක් ඇය ඇඟිලි ගනිමින් සිටි අවස්ථාව අද උදා වී ඇත."අම්මා, මම ලෑස්තියි. අනේ! ඉක්මනට යමුකෝ" කියමින් ඇය මවගේ ඇ‍ඟේ දැවටුණාය."හරි, අපි යමු. හැබැයි ඊට කලින් ඔයා බුදුසාදුට වැඳලා යන්න ඕන."මව කීවේ ගෙයි කොනක සූදානම් කර තිබූ බුදු පහන දල්වමිනි."හරි අම්මා" කියමින් මිනෝලි බුදු පිළිමයට වැන්ඳාය.මිනෝලිගේ මවද බුදු පිළිමයට වැන්ඳේ දහසක් ප්‍රාර්ථනා තම සිතේ තබා ගෙනය."දුව, ඔයා හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් නෝනා කෙනෙක් වෙන්නම ඕනි, හරිද?" මව එසේ පවසද්දී මිනෝලි නිහඬව සිටියත් ඈ ඒ සියල්ල හොඳින් සිතට ගත්තාය.අනතුරුව ඇය දිව ගොස් ආච්චිටත්, නැන්දාටත් වැන්ඳාය.ඇයට තම පියා නැති අඩුව නොතේරුනත් මේසය මත තබා තිබූ පියාගේ ඡායාරූපය ළඟට ගොස් ගාථාව කියා වැන්ඳ ඇය මවටද ගාථාව කියා වැන්ඳාය. දෑසට කඳුළු නැඟුන මුත් මව ඒවා සඟවාගත්තේ මිනෝලිට නොපෙනෙන පරිද්දෙනි.
"අපි යමුද? අම්මා." මිනෝලි එසේ විමසමින් ගෙයින් පිටතට ආවාය."කිරිබත් කාලා මට නිදිමත හැදෙයිද දන්නේ නෑ" සැබැවින්ම නිහඬ ළමයෙක් වුවද හිතේ සතුටට පාසලට යන මාවතේ ඇය තම මවත් සමඟ දොඬමළු වූවාය.
මිනෝලිගේ පාසලේ පළවෙනි දවස ගැන තොරතුරු අපි ඊළඟ කොටසින් බලමු...

3 comments:

Dil said...

කතාව මිනෝලිගෙද එහෙම නැත්තම් ඔයාගෙද?

මුditha said...

@Dil
රස විඳින්න පුළුවන් නම් කතාව කාගේ වුණත් කමක් නෑනේද?

Rash said...

ලියමු දිගටම!මගෙන් සුභ පැතුම්!

Post a Comment